නාඋල්ල මධ්‍ය මහා විදුහලේ ඉතිහාසය
අපේ ඉතිහාසය
100 years of proudly history. Our school is the oldest school in the area.
ආරම්භය
ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දර්ශනීය කඳු පෙළකින් ගලා බස්නා ගංඟා දෙකකට මැදිව දෙමෝදර නාඋල්ල ගම්මානය පිහිටා ඇත. ගංඟා දෙකක් හමුවන ස්ථානය යන අර්ථයෙන් මෙම ප්‍රදේශය “දෙමෝදර” යැයි නම් ලබා තිබේ. සියවස් ගණනාවක් ඈත අතීතයට හිමිකම් කියන මෙම ගම්මානයට අළුතින් අරුණළු උදා වන්නේ එක්දහස් නවසිය හතළිහ දශකයේ මුල් භාගයේ දීය. ඒ දෙමෝදර නාඋල්ල ගම්මානයේ වෙසෙනා ජනයා අධ්‍යාත්මික වශයෙන් සුවපත් කිරීම මුඛ්‍ය අභිලාශය කරගනිමින් ගෞරවනීය කයිලගොඩ සිරිනිවාස හිමිපාණන් වහන්සේ ඉතා කුඩා ආවාසයක් ඉදිකර ගනිමින් ගම්මානයට වැඩම කරවීමත් සමගනී.
ගැමියන් දැහැමින් පෝෂණය කරමින් සුචරිතවාදී කරනු වස් අප්‍රතිහත ධෛර්යෙන් ක්‍රියා කළ උන්වහන්සේට සිය දායකයින්ගේ අධ්‍යාපනික මට්ටම උසස් කිරීම උදෙසාද ඇතිවන්නේ දැඩි අවශ්‍යතාවයකි. එම අභිලාශය මුදුන් පමණුවාගනු වස් දැඩි කැප වීමෙන් ක්‍රියා කළ උන්වහන්සේ කුඩා අතු පැළක විද්‍යාලයක් ආරම්භ කරනුයේ 1940 වසරේදී පන්සල් පාඨශාලාවක් ලෙසිනි. නමින් “සිරිනිවාස විදුහල” නම් වු මෙම විදුහලෙහි ප්‍රථම විදුහල්පති වරයා වීමේ භාග්‍යය හිමිකර ගන්නේ රන්හාමි මහතායි. පාසලේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 32 කි. විදුහල්පතිවරයාට අමතරව තවත් එක් ගුරුවරයෙකු ආරම්භක අවස්ථාවේදී දරුවනට අධ්‍යාපනය ලබා දීමේ කාර්යයේ නිරත විය.


නාඋල්ල නව පාසල
මෙසේ ආරම්භ කරන ලද විද්‍යාලය පසුකාලීනව අංග සම්පුර්ණ විද්‍යාලයක් ලෙස දියුණු කිරීමට උත්සහ කිරීමේදී ඇතිවු ප්‍රධානම ගැටළුව වූයේ පාසලටම අයත් වු නිශ්චිත භුමි ප්‍රදේශයක් නොමැති වීමයි. මෙවන් තත්වයක් යටතේ ප්‍රදේශයේ දරුවන් ලබා ගන්නා වූ අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කරගත් දෙමෝදර නාඋල්ල ප්‍රදේශයේ එවකට පදිංචිව සිටි දානපතින් වන පී.එච්. කරෝලිස් ද සිල්වා මැතිතුමා සහ එස්. එම්. ගංඇති මැතිතුමා සතු ඉඩම් වලින් කොටස බැගින් පාසල වෙත පරිත්‍යාග කරනුයේ කිසිඳු මුදලක් හෝ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවෙමිනි.
පාසලටම අයත් නිශ්චිත භූමියක් හිමිවු පසු පාසල භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් වලින්ද ක්‍රමිකව සංවර්ධනයවීම ආරම්භ විය. මෙහි මුලික අවස්ථාව ඇතිවන්නේ 1941 වසරේදීය. එනම් පන්සල් පාඨශාලාවක් ලෙස ආරම්භ වූ විද්‍යාලය 1941.06.05 වන දින ආණ්ඩුවේ අභිනව ස්වභාෂා මිශ්‍ර පාඨශාලාවක් ලෙස බ/නාඋල්ල විද්‍යාලය නමින් උසස් තත්වයට පත් කිරීමයි.
නාඋල්ල විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත්වේ.
මෙලෙස දරුවන්ගේ නුවණැස පාදා දෙමින් ඔහුන්ගේ ඉදිරි මඟ එකළු කිරීමට නාඋල්ල ප්‍රදේශයේ ආරම්භ වු පළමු රාජ්‍ය ආයතනය වන බ / නාඋල්ල විද්‍යාලයට තවත් එක් සුවිශේෂි කාල වකවානුවක් වනේ පනහ දශකයේ අගභාගයයි. 1957.10.25 වන දින එවකට මන්ත්‍රී ධූරයක් දැරූ ජේ. සී. ටී. කොතලාවල සහ ටී. එස්. ප්‍රනාන්දු විද්‍යාලයට පැමිණ නව පාසල් ගොඩනැඟිල්ල හා නව ක්‍රීඩා පිටිය විවෘත කිරීම ඉන් එක සිද්ධියකි.
විවිධ කාල වකවානුවල බොහෝ විදුහල්පතිවරු පාසල තුල සේවය කොට ඇති අතර ඔවුන් සියළු දෙනාගේම එකම අභිප්‍රාය වී ඇත්තේ පාසලේ අභිවෘද්ධිය සහ දියුණු අති කිරීමයි. 1959.06.01 දින පාසලට පත්ව එන විලියම් සිංඤෝ විදුහල්පති වරයාගේ දැඩි කැපවීම මත 1962.01.01 වන දින බ/නාඋල්ල විද්‍යාලය මහා විද්‍යාලයක් උසස් කිරීම ඉන් එක සිධියකි.
මෙම තත්වය සමගම පාසල තුළ අ.පො.ස. (උ/පෙළ) කලා හා වාණිජ පංති ආරම්භ කිරීමේ භාග්‍යය උදාවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස එදා හද්දා පිටිසර ගම්මානයක් වූ දෙමෝදර නාඋල්ල ප්‍රදේශයේ දරුවනට විශ්ව විද්‍යාලයට ප්‍රවේශවීමේ දොරගුළු විවර වන්නේ ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ද සිත්සන් ප්‍රබෝධයට පත් කරමිනි.
ස්වර්ණමය යුගයක් තුලින් ජාතික පාසලක් දක්වා
